Samurai & Cinnamon

Samurai & Cinnamon

共有する

ජපානයේ ජීවිතය, සංස්කෘතිය සහ ඇත්ත අත්දැකීම් ශ්‍රී ලාංකිකයෙකුගේ ඇස්වලින්.

25/07/2026

🇯🇵 ජපානයේ ජීවිතය පහසු කරගන්න රහස් 10ක් 🇯🇵

ජපානයට අලුතින් ආවත්, අවුරුදු ගණනක් ජීවත් වුණත්, මේ පුරුදු ටික ඔබේ ජීවිතය ගොඩක් පහසු කරයි.

🔹 1. වෙලාවට වැඩ කිරීම පුරුද්දක් කරගන්න.

ජපානයේ විශ්වාසය දිනාගන්න හොඳම ක්‍රමය වෙලාවට සිටීමයි.

🔹 2. හැමදාම ජපන් වචන 5ක්වත් ඉගෙන ගන්න.

භාෂාව දියුණු වුණාම රැකියාවත්, දෛනික ජීවිතයත් පහසු වෙනවා.

🔹 3. මුදල් කළමනාකරණය කරන්න.

අවශ්‍ය දේවල් සඳහා පමණක් වියදම් කරලා, හැකි තරම් ඉතිරි කරන්න.

🔹 4. My Number Card, Residence Card සහ අනෙකුත් ලියකියවිලි ආරක්ෂිතව තබාගන්න.
හදිසි අවස්ථාවකදී ඒවා ඉතා වැදගත්.

🔹 5. නීති සහ රීතිවලට ගරු කරන්න.

කුණු වෙන් කර දැමීම, පෝලිමට සිටීම, අන් අයට බාධා නොකිරීම වැනි දේවල් ජපානයේ සංස්කෘතියේ කොටසක්.

🔹 6. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

විශේෂයෙන් ගිම්හානයේදී ප්‍රමාණවත් වතුර බොන්න, විවේක ගන්න.

🔹 7. සුදුසුකම් වැඩි කරගන්න.

ජපන් භාෂා සහතික, රියදුරු බලපත්‍රය, Forklift වැනි සුදුසුකම් අනාගතයේ හොඳ රැකියා අවස්ථා ලබාදෙයි.

🔹 8. හොඳ නමක් ගොඩනඟාගන්න.

වැඩ කරන තැන වගකීමෙන් වැඩ කිරීම ඔබට අනාගතයේ හොඳ අවස්ථා විවෘත කරයි.

🔹 9. ජීවිතය සරලව ගත කරන්න.

අවශ්‍ය නැති වියදම්, ණය සහ අනවශ්‍ය පීඩනයෙන් ඈත් වෙන්න.

🔹 10. ඉවසීම සහ අඛණ්ඩ උත්සාහය අත්හරින්න එපා.

ජපානයේ සාර්ථක වන බොහෝ දෙනාගේ ලොකුම ශක්තිය දක්ෂකමට වඩා අඛණ්ඩ උත්සාහයයි.

🌸 ජපානයේ ජීවිතය පහසු වෙන්නේ වාසනාවෙන් නොව, හොඳ පුරුදු නිසායි.
අද කරන කුඩා වෙනසක්, හෙට ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්.

❤️ මේ වගේ ජපානයේ ජීවිතයට වැදගත් තොරතුරු තවත් ලබාගන්න Page එක Follow කරන්න!

19/07/2026

🇯🇵 ජපානයේ තියෙන දේවල් දැක්කම පුදුම හිතෙනවා නේද? 😍

ජපානයේ මිනිස්සුන්ගේ දෛනික ජීවිතය පහසු කරන්න හදපු විවිධ ස්ථාන සහ සේවා ගොඩක් තියෙනවා.

🤖 自動販売機 (Jidōhanbaiki)

මිනිස්සු නැතිව බීම, ආහාර සහ වෙනත් දේවල් මිලදී ගන්න පුළුවන්.

🏪 コンビニ (Convenience Store)

කෑම, බීම, ATM, photocopy, parcel යැවීම වගේ සේවා ගොඩක් එකම තැනකින්.

🛒 スーパー (Supermarket)

දෛනික ආහාර සහ ගෙදරට අවශ්‍ය බඩු ගන්න පුළුවන්.

💊 ドラッグストア (Drugstore)

බෙහෙත් විතරක් නෙවෙයි… cosmetics, shampoo, skincare සහ ආහාරත් තියෙනවා.

🪙 100円ショップ

¥100 වගේ අඩු මිලකට දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් ගොඩක් ගන්න පුළුවන්.

👕 コインランドリー (Coin Laundry)

තමන්ගේ රෙදි තමන්ම සෝදා වියළාගන්න පුළුවන්.

🥬 無人販売所 (මිනිසුන් නැති විකිණීමේ ස්ථාන)

සමහර තැන්වල කෙනෙක් නැතිව එළවළු සහ වෙනත් දේවල් මිලදී ගන්න පුළුවන්.

ජපානයේ විශේෂත්වය කියන්නේ…

තාක්ෂණය විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ දෛනික ජීවිතය පහසු කරලා තියෙන පිළිවෙළ සහ විශ්වාසයත් එක්ක මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වීමයි. 🇯🇵✨

ඔයා ජපානයේ දැකපු පුදුම හිතෙන දෙයක් මොකක්ද? 👇

17/07/2026

ලංකාවේ මිනිසුන් සහ ජපානයේ මිනිසුන් අතර ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි කවුද හොඳ, කවුද නරක කියන එක නෙමෙයි. සමාජය, සංස්කෘතිය සහ ජීවන රටාව අනුව හැදුණු වෙනස්කම්.

🇱🇰 ලංකාවේ මිනිසුන්

* ආදරය සහ මිනිස් සම්බන්ධතා ගොඩක් වැදගත්.
* කෙනෙක්ට කරදරයක් වුණාම උදව් කරන්න ඉක්මනින් ඉදිරිපත් වෙනවා.
* පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීම වැදගත්.
* හැඟීම් වචනවලින් සහ ක්‍රියාවලින් විවෘතව පෙන්වනවා.
* සමහර වෙලාවට කාලය, පිළිවෙළ සහ නීති ගැන නම්‍යශීලී වෙන්න පුළුවන්.

🇯🇵 ජපානයේ මිනිසුන්

* වගකීම, වෙලාව සහ පිළිවෙළට විශාල වැදගත්කමක් දෙනවා.
* තමන්ගේ වැඩ තමන්ට පැවරුණු වගකීමක් ලෙස සලකනවා.
* අනිත් අයට කරදරයක් නොවන විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා.
* උදව් කළත් හැඟීම් වචනවලින් නොව ක්‍රියාවෙන් පෙන්වන අවස්ථා වැඩියි.
* පෞද්ගලික අවකාශයට සහ සීමාවන්ට ගරු කරනවා.

ලොකුම වෙනස කියන්න නම්…

🇱🇰 ලංකාවේ මිනිසුන් බොහෝවිට “මිනිස් සම්බන්ධතා” මුල් කරගන්නවා.
🇯🇵 ජපානයේ මිනිසුන් බොහෝවිට “වගකීම, පිළිවෙළ සහ අන් අයට බාධා නොකිරීම” මුල් කරගන්නවා.

ඒ නිසා ජපානයේ ජීවත් වෙනකොට ලංකාවේ කෙනෙකුට සමහර වෙලාවට ජපන් මිනිසුන් “ටිකක් දුරස්ථයි” වගේ දැනෙන්න පුළුවන්.

නමුත් ඒක හැමවිටම ආදරය නැති නිසා නෙමෙයි.
ආදරය සහ කරුණාව පෙන්වන විදිහ වෙනස් නිසා. 🇯🇵🇱🇰

15/07/2026

🌞 ජපානයේ ඉන්න හැමෝටම පුංචි මතක් කිරීමක්.

මේ දවස්වල ජපානයේ සැබෑ ගිම්හානය ආරම්භ වෙලා. උෂ්ණත්වය 32°C – 34°C පමණ වෙනවා. ඉදිරි දිනවල ඒක තවත් වැඩි වෙන්න පුළුවන්.

විශේෂයෙන් එළියේ වැඩ කරන අය සහ දිගු වෙලාවක් එළිමහනේ ඉන්න අය ගොඩක් පරිස්සම් වෙන්න.

අධික උණුසුම නිසා Heat Stroke (තාප ආඝාතය) ඇතිවීමේ අවදානම වැඩියි.

✅ දවස පුරා ප්‍රමාණවත් ලෙස වතුර බොන්න.
✅ Pocari Sweat හෝ Aquarius වගේ ඉලෙක්ට්‍රොලයිට් බීම පානය කරන්න.
✅ ලුණු අඩංගු කැන්ඩි හෝ ටොෆී වගේ දේවල් ළඟ තබාගන්න.
✅ හැකි තරම් සෙවණේ විවේක ගන්න.
✅ හිසරදය, කරකැවිල්ල, දුර්වල බව හෝ ඔක්කාරය වගේ ලක්ෂණ දැනුණොත් වහාම විවේක ගෙන වතුර සහ ඉලෙක්ට්‍රොලයිට් ලබාගන්න.

අපි පරිස්සම් වෙමු. මේ පණිවිඩය ජපානයේ ඉන්න ඔබේ යාළුවන්ටත් share කරන්න. ❤️🇯🇵

15/07/2026

🇯🇵 ජපානයේ ආහාර සංස්කෘතිය

ජපානය ගැන කතා කරනකොට…
හැමෝම මුලින්ම මතක් කරන්නේ සුෂි, රාමෙන්, බෙන්තෝ වගේ ආහාර.

ඒත් ජපානයේ ආහාර සංස්කෘතිය…
රසයට විතරක් සීමා වෙන්නේ නැහැ.

නැවුම් අමුද්‍රව්‍ය,
සමබර පෝෂණය,
පිරිසිදුකම,
සහ ආහාරයට දක්වන ගෞරවය…
මේ හැමදේම එකට එකතු වෙලා තමයි ඔවුන්ගේ ආහාර වේල හැදෙන්නේ.

ජපානයේ බොහෝ දෙනා
මාළු, එළවළු, සහල් සහ සුප් වැනි
පෝෂ්‍යදායී ආහාර නිතරම තෝරා ගන්නවා.

කෑමට පෙර…
“ඉතදාකිමාස්” කියලා
ඒ ආහාරය ලැබීමට දායක වූ හැමෝටම ස්තුතිය පළ කරනවා.

කෑම අවසන් වුණාම…
“ගොචිසෝසාමා දේශිතා” කියලා
තවත් වරක් කෘතඥතාව පළ කරනවා.

චොප්ස්ටික් භාවිතා කරන විදිහටත්
විශේෂ ආචාරධර්ම තියෙනවා.

ආහාර අපතේ නොයන විදිහට කන එක…
ජපානයේ බොහෝ දෙනා අගය කරන පුරුද්දක්.

ඒ නිසා…
ජපානයේ ආහාර කියන්නේ
බඩ පුරවන දෙයක් විතරක් නෙවෙයි.

ඒක…
ගෞරවය,
සෞඛ්‍යය,
පිළිවෙළ,
සහ සංස්කෘතිය
එකට බැඳුණු ජීවන රටාවක්.

14/07/2026

නිවාඩු දවසට පොඩ්ඩක් ඇවිදින්න යමු… 🌿

ජපානයේ ජීවිතය වැඩ එක්ක ගෙවෙනවා.
ආදරණීයයන් එක්ක කාලය ගත කරන්න ලැබෙන අවස්ථාත් සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්.

ඒත් හිතේ බර ටිකක් හරි අඩු කරගන්න පුංචි වෙලාවක් හොයාගන්න අපිට පුළුවන්.

ජපානයේ ගොඩක් පාර්ක්, ඇවිදින මාර්ග, ගස් සෙවණේ තියෙන බෙන්ච්…
කිසිම මුදලක් නොගෙවා නිහඬව ඉඳගෙන හුස්ම ගන්න, කොළ පැහැය දිහා බලන්න, හිත සන්සුන් කරගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා.

සමහර වෙලාවට ගෙදර ඉඳලා මිනිත්තු කිහිපයක් ඇවිදින දුරින්ම ඒ වගේ තැනක් තියෙන්නත් පුළුවන්.

හිතේ තියෙන මහන්සිය මොහොතකට හරි අඩු කරගන්න…
එක දවසක්වත් ජීවිතේ කලබලෙන් පොඩ්ඩක් ඈත් වෙලා, ඔබත් ඔබ එක්ක ටික වෙලාවක් ගත කරන්න.

ජපානය කියන්නේ වැඩ කරන රටක් විතරක් නෙවෙයි.
ජීවිතේට පුංචි විවේකයක් දෙන්න ඉඩ තියෙන රටක්.

ජපානයේදි , ශ්‍රී ලංකාවේ වගේ නිදහස් ඉඩකඩ හැම තැනම නැති වුණත්, ඒ අඩුව පුරවන්න සොබාදහමට ළං වෙන්න පුළුවන් තැන් තියෙනවා.

ඉතින්…
ඊළඟ නිවාඩු දවසේ, පැයක්වත් ඔබ වෙනුවෙන් වෙන් කරන්න.

සමහර වෙලාවට හිත සුවපත් වෙන්න ඕනේ දේ, ලොකු දෙයක් නෙවෙයි…
නිහඬ බෙන්ච් එකක්, හෙමින් හමන සුළඟක්, කොළ පාට ගස් ටිකක් විතරයි. 💚

13/07/2026

“ඔයා හොඳින් ද?”

අද උදේ ඇසුණා හිතක් නතර වූ කතාවක්,💔

අම්මගේ විලාපය වුණා හිත බිඳෙන හඬක්.

ඒ හඬ අතරේ එක ප්‍රශ්නයක් ඇහුණා,

“අන්තිමට කවුරුහරි ‘ඔයා හොඳින් ද?’ කියලා ඇහුවාද?”

හිනාවෙලා ඉන්න හැම මුහුණක්ම සතුටින් නෙවෙයි,

නිහඬව අඬන ඇස් හැමෝටම පෙනෙන්නෙත් නෙවෙයි.

හිත ඇතුළේ කඳුළු ගංගාවක් ගලා යද්දී,

ලෝකය හිතන්නේ ඒ කෙනා හොඳින් කියලාමයි.

ඒ නිසා මොහොතක් නවතින්න…

හිතවත් කෙනෙක්ව මතක් කරන්න…

“ඔයා හොඳින් ද?” කියලා අහන්න.
පිළිතුර අහන්න.
සවන් දෙන්න.

මොකද…
සමහර හිතවලට ඕනේ විසඳුමක් නොවෙයි,
තේරුම් ගන්න කෙනෙක් විතරයි.

සමහර ජීවිත බේරෙන්නේ,
ඖෂධවලින් නොවෙයි…

ආදරයෙන් ඇහෙන,
“ඔයා හොඳින් ද?” කියන
එකම එක වචනයෙන්…

12/07/2026

🇯🇵 ජපානයට මම ඇයි කැමති?

මේ ප්‍රශ්නය මගෙන් ගොඩක් අය අහනවා.

ඇත්තටම හේතු එකක් දෙකක් නෙවෙයි… ගොඩක් තියෙනවා.

ඒත් මම කවදාවත් කියන්නේ නැහැ,
“ශ්‍රී ලංකාව හොඳ නැහැ. ජපානය තමයි හොඳම රට.” කියලා.

මගේ රට මට හැමදාම ආදරණීයයි. 🇱🇰❤️

හැබැයි ජපානයේ ජීවත් වෙද්දී මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා.

🌿 පිරිසිදු පරිසරය…

🙏 මිනිසුන්ගේ විනය…

🤝 අනිත් අයට ගරු කරන හැටි…

🚌 බස් සහ 🚆 දුම්රිය නියමිත වේලාවට පැමිණීම…

🗑️ කුණු දමන තැන දැනගෙන, පරිසරය ආරක්ෂා කරන සංස්කෘතිය…

💼 තමන්ගේ වගකීම හොඳින් ඉටු කරන වැඩ කරන රටාව…

මේ දේවල් දකිද්දී මට හිතෙන්නේ…

හොඳ රටක් කියන්නේ ලස්සන ගොඩනැගිලි තියෙන රටක් විතරක් නෙවෙයි. හොඳ පුරුදු තියෙන මිනිසුන් ඉන්න රටක්.

ජපානය මට ඒ පාඩම ඉගැන්නුවා.

ඒ නිසා මම මේ රටට ගරු කරනවා. ඒ වගේම, මගේ රටටත් ඒ වගේ හොඳ දේවල් තවත් වැඩිවෙන්න ප්‍රාර්ථනා කරනවා. ❤️🇱🇰🇯🇵

ඔබ ජපානයට ආවා නම්, ඔබට මුලින්ම දැනුණු වෙනස මොකක්ද? නැත්නම් ජපානයේ ඔබ කැමතිම දේ මොකක්ද? Comment එකකින් කියන්න. 😊

10/07/2026

ජීවිතේ මහන්සි කියලා හිතෙන දවසක් ආවොත්…💔

ජීවිතේ මහන්සි කියලා හිතෙන දවසක් ආවොත්, අපි හැමෝටම විවේකයක් ඕනේ වෙනවා.

ඒත් දුර රටක ජීවත් වෙනකොට ඒ විවේකය හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ වැඩ කළා නම්, සමහර වෙලාවට short leave එකක් දාලා ගෙදර දුවගෙන යන්න තිබුණා. අම්මා උයපු බත් එකක් කාලා, ටිකක් නිදාගෙන, හිත හදාගෙන ආයෙත් වැඩට යන්න තිබුණා. නැත්නම් යාළුවෝ එක්ක පුංචි trip එකක් ගිහින් හිත සැහැල්ලු කරගන්න තිබුණා.

ඒත් විදේශයක ජීවත් වෙනකොට ඒ දේවල් හරිම දුරයි.

වැඩේ මහන්සියට වඩා සමහර වෙලාවට හිතේ මහන්සිය වැඩියි. තමන්ටම තමන්ව ධෛර්යමත් කරගෙන, හෙට දවස ගැන හිතලා ආයෙත් නැගිටින්න වෙනවා.

කවුරුත් නොදකින නිහඬ සටන් ගොඩක් තියෙනවා. සිනහවකින් වැඩට යන කෙනාගේ හිත ඇතුළේ කොච්චර බරක් තියෙනවද කියලා දන්නේ එයා විතරයි.

ඒ නිසා පුළුවන් නම්, තමන්ට ටිකක් කරුණාවන්ත වෙන්න. විවේකයක් ගන්න. හොඳට කන්න. හොඳට නිදාගන්න. පවුලේ අයට කතා කරන්න. ඒ පුංචි දේවල් තමයි දුර රටක ජීවත් වෙන අපිට ලොකු ශක්තියක් වෙන්නේ.

අපි මේ ගමන තෝරගෙන ආවේ හීන වෙනුවෙන්. ඒ නිසා අද අමාරු වුණත්, හෙට දවස වෙනුවෙන් තවත් පියවරක් ඉස්සරහට තියමු.❤️

දුර රටක ජීවිතේ ලස්සනයි… ඒත් ඒ ලස්සන පිටිපස්සේ, කාටවත් නොපෙනෙන කැපකිරීම් ගොඩක් තියෙනවා.❤️

08/07/2026

🇯🇵 ජපානයේ රැකියාව ගැන මගේ අත්දැකීම

මගේ ජපානයේ මුලින්ම රැකියාවට ගිය දවස මට තවමත් මතකයි. ඒ දවසේ ඉඳන් අද දක්වා මම ඉගෙනගත්ත දේවල්, අත්දැකීම්, සහ ජීවිතේ වෙනස් වුණු හැටි ගැන කියන්න ඕන කියලා හිතෙනවා.ඒ දේවල් ඇත්තටම ජපානයේ ජිවත් වෙන්න හුගක් වැදගත් වුනා.

ඇත්තටම මම මේ job එකට එද්දි ඒක අලුත් අත්දැකීමක් වුනා. ශ්‍රි ලංකාවේදි මම හොද වැටුපක් සමග විධායක ශ්‍රේණියේ රැකියාවක් කල කෙනෙක්. මුලින්ම යනකොට බයක් තිබ්බා, language barrier එකත් තිබ්බා. මට මේක කරගන්න පුලුවන් වෙයිද කියලා සැකයක් තිබුනා. හැබැයි මගේ boss ඒ කියන්නේ department head හුගක් හොදට support කළා.

Whiteboard එකක ජපන් වචන ලියලා අපිට සිංහලෙන් explain කරලා language ඉගැන්නුවා.Restaurant වලටත් එක්කගෙන ගිහින් Japanese culture එකත් ඉගෙනගන්න ලැබුණා.ජපන් කෑම රස බලන්න ලැබුනා.

මට අද හිතෙන දේ තමයි මේ company එකෙන් මට ලැබුන opportunities අතිශය වටිනවා. ඒ වගේම අද මට support කරන Sri Lankan සහ Japanese දෙපාර්ශවයේම අය ඉන්නවා.

ඇත්තටම හැම Japanese කෙනෙක්ම එක වගේ නෙවෙයි. හොඳ අයත් ඉන්නවා, අමාරු අයත් ඉන්නවා. හැබැයි අපි අපේ වැඩ හරියට කරලා, respect එකෙන් වැඩ කළොත් ජපානයේ ප්‍රශ්නයක් නැහැ.

අපේ ලංකාවේ මිනිස්සු හරියට මහන්සිවෙලා වැඩ කරනවා. ඒ වගේම ජපානයේත් මිනිස්සු discipline එකට වැඩ කරනවා. දෙරටම හොඳ දේවල් තියෙනවා.

මට හිතෙන්නේ මිනිස්සුන්ව judge කරනවට වඩා, තමන් කරන වැඩෙන් තමන්ව prove කරන එක තමයි වැදගත්ම දේ.



📌 මේ ගැන ඔබේ අදහස මොකක්ද?
👉 ජපානයේ වැඩ කරන අත්දැකීම් ඔබටත් තියෙනවද?

あなたの事業をビューティーサロンのトップリストKawasaki-shiにしたいですか?
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

カテゴリー

ウェブサイト

住所

Kawasaki-shi, Kanagawa